ගමේ කරදර
අබේ මාමා මට ටෙලිෆෝන් කරනකොට මම තාම උදේට කනවා. සෙනසුරාදා දවසක් නිසා ගෙදර කිසි හදිස්සියක්, සද්දයක් නෑ. ළමයි දෙන්නා තාම නිදි. කමලා තාම මූන සෝදනවා ඇති. රේඩියෝව තනියම රටේ බඩු මිල ගැන කතා කරනවා ඇරුනකොට වෙන කිසි සද්දයක් නෑ.
“හලෝ?”
“ආ පුතා නිදාගෙනද හිටියේ?”
“හා මේ මාමනෙ. මොකොද මාමා මේ උදේ පාන්දරම?”
“පුතාලට පාන්දර උනාට අපිට දැන් එලිය වැටිලා බොහොම වෙලා. මං මේ පොඩි වැඩකට ටවුමට ආවා. හැබැයි තවම හම්බුවෙන්ට ආපු මහත්තුරු වැඩට ඇවිත් නෑ”
“ඇයි අප්පේ ඇවිල්ලා මොකවත් කාලා යන්ට පුලුවන් නේ. මම විනාඩි පහකින් එන්නං කාරෙකේ. මාමා කොහෙද දැන්?”
“නෑ පුතා. තව ටිකකින් මේ ගොල්ල එයි. මේ වැඩේ ඉක්මනට කරගන්න තරමට හොඳයි”
“…මට පුතා හම්බුවෙන්ටත් ඕනෑ තමයි…අපිට ටවුමේ හම්බුවෙන්ට පුලුවන්ද එකොලහට විතර?”
මාමට මොකක් හරි හේතුවක් ඇති මම ටවුමේ හම්බුවෙන්ට, ගෙදර එන්නෙ නැතුව.
“කොහෙද එහෙනං හම්බු වෙන්නේ”
“බ්ලූ ස්ටා එකේ?”
“මං එන්නං එහෙනං එකොලහට”
මම කමලට කිව්වා ටවුමට ගිහින් අබේ මාමා හමුවෙනඑක ගැන.
“ඇයි ඉතින් දවල්ට මෙහෙ එන්ට කිව්වෙ නැත්තේ”
“නෑ මාමට වැඩ වගෙයක් තියෙනවා කිව්වා ඉක්මනට කරගෙන ගෙදර යන්න. මොකද්ද මංදා මාත් එක්කත් කතා කරගන්නත් දෙයක් තියෙනවා කිව්වේ”
“මොනවාහරි ඉඩමක හුට පටයක් වෙන්ට ඇති. කරාඹු වගේ දෙයක් ගැන නම් ටිකිරිබංඩා කියයි නේ. ඒක නෙවෙයි, මට ෆෙල්ට් පෙන්ස් දුසිමක් ගේනවද, පාට පාට. මං දැක්කා සිතුමිනේ තියෙනවා. ප්‍රින්ටර් එකට කඩදාසි මිටියකුත් ගෙනාවොත් හොඳයි”
“ප්‍රින්ටර් ගන්නවට වැඩිය සල්ලි යනවා කොල වලටයි පාට කාට්රිජ් වලටයි!”
මම කමලට ඕනෑ බඩු ටිකත් ඇරගෙන බ්ලූ ස්ටා හෝටලේට එනකොට එකොලහ පහුවෙලා විනාඩි දහයක් විතර ගිහින්. මාමා මේසයක් උඩ කඩදාසි ගොඩක් තියාගෙන මොනවදෝ ලියනවා. බීර වීදුරුවකුයි බාගෙට කාපු වඩේ එකකුයි පැත්තකින් තිබුනට හිත සම්පූර්නෙන්ම කඩදාසි වල. මම එනවා දැක්කෙත් නෑ.
“මාමගෙ වැඩේ කරගත්තද?”
“හා පුතා…මේ ඔප්පු වල මිනිංදෝරු සිතියම් බැලුවා…”
එහෙම කියලා මාමා වේටර්ට එක ඇගිල්ලක් උස්සලා පෙන්නුවා. වේටර් මගෙ බීර වීදුරුව ගෙනත් දෙනකං මොකවත් කිව්වෙ නෑ.
“පුතාලගෙ ඉඩම් මැනපු මිනිංදෝරුවා දැන් කොහෙද?”
“සරත් සිල්වද? මට පෙරේදත් හම්බු උනා. ඕනැනං මං එක්ක එන්නං වෙලාවක”
“චියර්ස්... මිනිහට කියනවද මගෙ පොඩි වැඩක් තියෙනවා කියලා? අර මහහේනට එහා කෑල්ල මැනගන්ට ඕනෑ”
“මං මිනිහට කතා කරලා හෙට අනිද්දට කෝල් එකක් දෙන්නං. ඒකද මං හම්බුවෙන්න ඕනෑ කිව්වේ?”
මාමා කතා නොකර මං දිහා බලාගෙන හිටියා බීර විදුර උඩින්. හරියට මොකද්දෝ කියන්ටද නැද්ද කියලා හිතනවා වගේ. මම සද්ද නැතුව මගෙ වීදුරුව තොල ගෑවා.
“පුතා දන්නවානේ අට්ටික්කා ගහේ ඉන්න එක්කෙනා?”
මීට මාස කීපේකට ඉස්සර මම ගමේ ගිය වෙලාවක මට උන දෙයක් ගැන තමයි මාමා ඔය කියන්නේ - දුංගහ මුල බෝක්කුව ලඟ අට්ටික්කා ගහේ ඉන්න දෙවියෝ ගැන.
“ඇයි මොකද මාමා….. මොනවත් උනාද?”
මාමා ටිකක් වෙලා වීදුරුව දිහාම බලාගෙන හිටියා.
“පොඩි කෙල්ලෙක්, අපෙ ඉස්කෝලේ”
මේක මම හිතුවට වැඩිය බරපතළ දෙයක්. අපි වගේ වැඩිහිටියෙකුට අනික් අය හිතන දේ අහුනොත් ඒකට කරන්න යුතු දේ සලස්සා ගන්න පුලුවන්. මොකොද, අපි දන්නවා මිනිස්සු වචනෙන් කියන දේයි යටින් හිතන දේයි වෙනස් කියලා. නමුත් පොඩි එකෙකුට ඇහෙන හැම දේම ඇත්ත. ‘බොරු’, එහෙම නැත්තං ‘බාග ඇත්ත’ ගැන ඒ අයට කිසිම හැඟීමක් නෑ. මට මතකයි අපෙ දුව පොඩිකාලේ දවසක් “එයා හරි ගොනා” කියන එක තේරුම් කරන්ට හදනවා. “එයාට කකුල් දෙකයි නේ” – ඒකට උත්තර හොයන්ට මම බොහොම මහන්සි උනා.
“කවුද දරුවා?”
“අපෙ ඉස්කෝලේ විජේසිංහ මහත්තයගෙ දුව - තාම වයස හයයි”
“අර හතේ කනුවෙන් පහල වෙල ලඟ ගෙදර විජේද? පවු අප්පා… හැබැයි මාමා කොහොමද දන්නේ?”
“මට විජේසිංහ කිව්වා…දන්නවානෙ දෙමව්පියෝ උනාම තමංගෙ දරුවෝ හරිම ශූරයෝ කියලානේ හිතන්නේ. පෙරේදා මට ඇවිත් කිව්වා එයාගෙ දුව, සඳමාලී, විජේ මොකවත් කියන්ටත් ඉස්සර ඒකට අදාල දෙයක් කියනවලු හරියට විජේ කියන්ට හිතාගෙන ඉන්න එක ඇහෙනවා වගේ. එයා කිව්වේ, දවසක් කාටවත් නොකියා දුවට උපන් දිනේට සපත්තු දෙකක් ගේනට පිටත්වෙනකොට දුව කිව්වලු “මට සුදු සපත්තු එපා” කියලා”
“මං එයාට කිව්වා මේ වගේ දේ ඕනෑ කෙනෙකුට වෙන්ට පුලුවන් කියලා. ලමයට සපත්තු ඕනෑ, තාත්තා කඩේ යනවා, එතකොට එහෙම දෙයක් කියන එක පුදුමෙයක් නෙවෙයි. විජේසිංහ මහත්තයා තව උදාහරන කීපයක් ඊට පස්සේ මට කිව්වා”
“ඉස්කෝලේ ඇරිලා දෙන්නා පයින් ගෙදර එනකොට සමහරවිට දුව කියන දේ පුදුමයිලු:”
“නෑ දිසානායක මහත්තයා තාත්තට මාරුවක් හදල දෙන එකක් නෑ”
“මොකද්ද තාත්තා පොතේ ගුරා කියන්නේ?”
“ලොකු මහත්තයා ඇයි වැඩිය නාන්නෙ නැත්තේ?”
“මේ ඔක්කොම විජේසිංහ මහත්තයා හිත හිතා ආපු දේකට මිසක් කටෙන් කියපු දේකට අදාල වචන නෙවෙයි. එයාගෙ හිතේ, දුවගෙ මොලේ කොච්චර දියුනුද කියතොත්, තමන් යමක් කියන්ටත් ඉස්සර කියන්ට හිතාගෙන ඉන්න එක දුවට තේරෙනවා කියලා. එයා දැන් ටැලිවිශන් කට්ටියකටත් මේක කියන්ටලු හිතාගෙන ඉන්නේ….”
“මොකොටද ටෙලිවිශන් නාලිකාවලට කියන්නේ?”
“විජේසිංහට ටිකක් මුදලෙන් කරදර තියෙනවා පවුලගෙ ලෙඩ එහෙම නිසා. මේකට පත්තරෙන් හරි ටැලිවිශන් එකෙන් හරි ගානක් හොයාගත්තොත් කරදර අඩුවෙයි කියලා හිතාගෙන ඉන්නේ”
අපි දෙන්නම දෙවනි බීර වීදුරුව පටන් ගත්තේ මේසේ දිහා බලාගෙන කතාවක් නැතුව. විජේසිංහට ගුරු පත්වීමක් ලැබුන අලුත මහියන්ගනේට මාරු කරලා ඇවිත් අපෙ ගෙදරත් කාලයක් හිටියා. අපි එතකොට මහියන්ගනේ හිටපු හතරවෙනි අවුරුද්ද. කමලා උගන්නපු ඉස්කෝලෙමයි පත්වීමත් ලැබිලා තිබුනේ. ඒ කාලේ ඉඳන් අපිට විජේගෙ හොඳ ගතිගුන හිතට අල්ලලා තිබුනේ. එයා කසාදයක් බැඳගත්තෙත් ඒ කාලේ. ජෝඩුවම ඉන්න තැනක් ලැබෙනකං හිටියේ අපෙ ගෙදර. ඒ අයට පොඩි දුවක් ඉන්නවා කියලවත් මම දැනගෙන හිටියෙ නෑ. මට මතක විදිහට පුත්තු දෙන්නෙක් හිටියා - දැන් වයස පහලවක් විතර ඇති.
“විජේට තව ළමයි ඉන්නවා නේද?”
“කොල්ලො දෙන්නා බොහොම දක්ශයි. ලොකුඑකා සාමාන්‍ය පෙල පාස් වෙලා කුරුනෑගල ඉස්කෝලෙකට දැම්මා. දෙවෙනියා තවම ගමේ ඉස්කෝලේ - අටේ පන්තියේ. හැබැයි මම හිතන හැටියට කුරුනෑගල ඉස්කෝලෙට කතා කරලලු තියෙන්නේ ඊලඟ අවුරුද්දේ එහෙ යන්ට. පොඩි එකී හුඟක් බාලයි, තවම හෝඩියේ”
“පද්මා තව වැඩකරනවද?”
“පොඩි එකී ඉපදුනාට පස්සේ අස්වෙලා. ටිකක් ලෙඩගානේ ඉන්නේ”
මටම පුදුමයි අපි විජේ ගැන නොදන්නා දේවල්. දුවක් හිටි වගක්වත් දන්නෙ නෑ. පද්මගෙ ලෙඩක් ගැන දන්නෙත් නෑ. මට හිතෙන විදිහට ටෙලිවිශන් කාරයොත් එක්ක පැටලෙන්ට ගියොත් මහා කරදර ගොඩකට මැදිවෙන්ට ඉඩ තියෙනවා. වැඩිපුරම පොඩි එකීට ආයෙත් සාමාන්‍ය ජීවිතයක් කියලා එකක් ඉතුරු වෙන්නෙ නෑ. මට විජේගෙ දුෂ්කරතාවය ගැන විශාල දුකක් ඇති උනා.
“ඔය ටෙලිවිශන් වැඩේනම් මහ භයානකයි මාමා. අපිට මොකුත් කරන්ට පුලුවන්ද?”
“මාත් හිතුවේ ඒකයි…. අපි දෙන්නා යමක් නොකෙරුවොත් කාටද කරන්ට පුලුවන්?” මාමා ඔය කියන්නේ අපි දෙන්නට තියෙන අත්දැකීම ගැන වෙන්ට ඇති; අනික් අය හිතන දේ අපිටත් පොඩි කාලෙකට හරි ඇහුනා නේ.
“මාමා කියන විදිහට විජේ එක්ක කතා කරලා නං මේක හදාගන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ”
“ඔවු. ඒක හරියන වැඩක් නෙවෙයි…මම හිතුවේ අනික් එක්කෙනා අල්ලලා බලන්ට…”
“දෙයියෝ?”
මාමාගෙ මූනේ පොඩී හිනාවක් පේනවා.
“පුතාට පුලුවන්ද අර මිනිංදෝරුවත් අල්ලගෙන වෙලාවක එහෙ එන්ට. හැබැයි දුවට කියන්ට එපා විජේසිංහගෙ කරදර ගැන - ඉඩං මනිනවා කිව්වොත් ඇති”
මම බිල ගෙවලා, මාමත් බස් එකට දාලා ගෙදර ගියේ සරත් සිල්වගෙ කන්තෝරුවටත් ගිහින්. මාමට එදා රෑම ටෙලිෆෝන් කරලා කිව්වා අපි අනිද්දා ගමේ එනවා කියලා.
අපි සඳුදා උදේ ගමේ යන්ට පිටත් උනේ සරතයගෙ වාහනේ. එයාගෙ මිනිංදෝරු ආම්පන්න දාගන්න ඒකේ ඕනැ තරම් ඉඩ තියෙනවා. අනික, එයා එදාම හවස ගෙදර එන්න හිතාගෙනග් ගියේ. මමනම් ආවේ කොහොමටත් රෑ ඉඳලා එන්නමයි. සරත්ට එක දවසෙන් වැඩේ ඉවර කරගන්න බැරි උනොත් අඟහරුවාදත් එන්න පුලුවන්, ආම්පන්න ගමේ තියලා ගිහින් උනත්.
අපි මාමලාගෙ ගෙදරට ඇවිත් ආගිය තොරතුරු කතා කරලා ඉවර වෙනකොට නැන්දා උදේ තේ මේසේ ලෑස්ති කරලා. කිරිබත්, අග්ගලා, කෙහෙල්ගෙඩි එක්ක තේ දැකලා සරතට හොඳ හිනහවක් ආවා. එයා ගම් පලාතක කෙනෙක් නෙවෙන නිසාද කොහෙද වැඩිය පුරුදු නෑ වැඩකට ආපු වෙලාවක මෙහෙම තේ සංග්‍රහයක් ලැබිලා. මාමා ඉක්මනටම තේ බීලා එලියට ගියා ඇවිත් හිටපු ටිකිරිබංඩයි නවෙයි එක්ක දවසේ කරන්න තියෙන වැඩ ගැන කතා කරගන්න. මට පෙනුන විදිහට ටික්කටයි නවේටයි පුලුවන් ඉඩම් මැනීමේ වැඩේට හොඳින් උදව්වෙන්න, ඉඩම් මායිම් එහෙම හොඳට දන්න නිසා. මාමා එහෙම කරන්න ඇත්තේ අපි දෙන්නට අනික් ප්‍රශ්නේ ගැන කතා කරගන්න ඉඩ සලසන්ට වෙන්න ඇති.
මහහේනේ පාඋල ඇලේ ගලක් උඩ වාඩිවෙලා තමයි මාමා විජේ ගැන කතා කරන්න පටන් ගත්තේ. අනික් අය මායිම් බලාගෙන ඉස්සරවෙලා ගිය නිසා අපිට නිවිහැනහිල්ලේ කතා කරගන්න පුලුවන් උනා.
“විජේසිංහ ඊයෙත් ඇවිල්ලා ගියා, ඉස්කෝලේ වැඩක් ගැන අහන්ට. එයා යන්ට ඉස්සර මම ඇහුවා ටැලිවිශන් වලට කතා කරාද කියලා. නැතිලු තවම. මම කිව්වා ටික දවසක් කල් දාන්ට කියලා දෙවෙනියගෙ සම්මුක පරීක්ෂන ඉවර එනකං. අර කුරුනෑගල ඉස්කෝලෙන් තියෙන සම්මුක පරීක්ෂනයක්, එන අවුරුද්දේ එහාට ගන්නවාද බලන්න. ලමයින්ගෙ ඉගෙනීම ගැන හින්දා එයා එකඟ උනා නමුත් අදහස සම්පූර්නෙම්ම අතෑරියේ නෑ. පොඩි එකී තවම එහෙමමයි - මේ දවස්වල ඉස්කෝලේ යවන්නෙත් නෑ එක එකා මොනවත් කියයිද කියලා. ඔන්න ඕකයි දැනට තත්වේ”
“දෙයියෝ අල්ලගන්න බැලුවෙ නෑ?” මේක අහල ඉවර උනාට පස්සේ තමයි මට ඒකේ ගැඹුර දැනුනේ. අපි දෙන්නා ඇලේ ගල් උඩ වාඩිවෙලා දෙවිකෙනෙක් ගැන කතා කරනවා හරියට ගමේ මිනිහෙක් ගැන කතා කරනවා වගේ. අනික් අතට බලනකොට අපි දෙන්නම උන්නාන්සෙට මීට ඉස්සර කතා කරලා තියෙනවා.
“අද හවස අපි දෙන්නම අට්ටික්කා ගහ ලඟට ගියොත් හොඳයි කියලා මං හිතුවේ”
“මාත් හිතුවේ ඒකයි. හවස දෙන්නම ඉඳලා හරි ගියෙ නැත්තං මම තනියෙන් එන්නං රෑ කාලා එහෙම.
මිනිංදෝරු වැඩ ඉවර උනත් නැතත් සරතා පහට විතර යනවා. එතකොට පුලුවන් ටික්කට කියලා රා උගුරකුත් ගේන්න කියන්න”
“ඒවා මං ලැස්ති කරලා තියෙන්නේ. පවුලට කිව්වා පුතාට වල් ඌරෝ බලන්ට ආස නිසා හවස වත්තේ ටිකක් ඇවිදිනවා කියලා”
මට හිනහ ගියා මාමා බොහොම හිතල බලල වැඩ සලසුම් කරලා තියෙන හැටිගැන. හැබැයි මේ තරමට මහන්සිවෙන්නේ විජේගෙ දුව නිසා වෙන්න ඇති. වෙන මොක උනත් මාමා කවදාවත් පොඩි දරුවෙකුට නරකක් වෙන්න ඉඩ දෙන කෙනෙක් නෙවෙයි. සමහරවිට ගුරු වෘත්තියේ හැටියක් වෙන්න ඇති.
කිව්වා වගේම සරත්ලට එදාම වැඩේ ඉවර කරගන්න බැරිඋනා. වැඩ නවත්වනකොට තව දවස් බාගෙක විතර වැඩ ඉතුරුයි. සරත් හවස හතර හමාරට පිටත් උනා හෙට උදේම එනවා කියලා. ටික්කලා එහෙමත් තේ බීලා ගෙවල් වලට ගිගියා. මම තේ බොන ගමන් නැන්දට කිව්වා වත්ත පැත්තේ ටිකක් අවිදලා නාලා එහෙම එනවා කියලා.
“ඔය මාමත් කිව්වේ පුතා කැමතියි වල් ඌරෝ බලන්ට කියලා”
“ඔවු නැන්දා. විස්වාස කරන්ට, මම ගොඩකේවෙල ඉන්න කාලේ දැක්කට පස්සේ දැකලා නෑ වල් ඌරෝ. අපි පොඩි කාලේ උන් මේ ගමේ නෑ”
“ඒකනං ඇත්ත. ඒත් මොන ලස්සනකට උන් බලනවද කියලනම් මට තේරෙන්නෙ නෑ. පුතා ටෝච් එකක් අරන් යන්න, කරුවල වෙයි එනකොට”
මම සරමක් තුවායක් එහෙම අරගෙන ඇල පැත්තට පිටත් උනා. මං හිතුවේ අට්ටික්කා ගහ ලඟින්ම නාලා මාමා එනකන් එතන ඉන්නවා කියලා.
නාල ඉවරවෙලා මම අට්ටික්කා ගහ වටේ ඇවිද්දා. ඉස්සරට වැඩිය ගහ ලඟ ටිකක් සුද්දයි. එතන තිබුන වේලිච්ච පැල කීපෙයකින් පෙනෙන්නේ කවුදෝ මොනවදෝ වවන්ටත් තැත්කරලා තියෙනවා වගේ. හැබැයි අදහස අතෑරලා දාලා වගේ - මේ පසේ මොනවත් හැදෙන්නේ නෑ. මම කීප සැරයක් උඩ බැලුවා ගහේ දෙවි කෙනෙක් පෙනේද කියලා. එහෙම කිසි සද්දයක් නැති නිසා මම ඇවිත් බෝක්කුව උඩ වාඩි උනා. ගියසැරෙත් බෝකුව උඩ ඉන්නකොටනේ දෙයියෝ කතා කරේ.
මාමටත් ඉස්සර ටිකිරිබංඩා ආවා පොඩි පංකොල මල්ලකුයි මුට්ටියකුයි ඇරගෙන. මල්ලෙන් ගත්ත පොල් කට්ටකට ටික්කා මුට්ටියෙන් රා ටිකක් වක්කරලා දුන්නා. මම ටික්කටත් එකක් වක්කරගන්න කියලා සිගරැට් එකකුත් දුන්නා. මම දන්නවා මාමා ඉස්සරහ ටික්කා බොන්නෙ නැති බව. ඒ කියන්නේ, මාමා අඩුගානේ තව විනාඩි විස්සක්වත් පරක්කුවෙලා එන්නේ, ටික්කට පොල්කටු දෙකක් බොන්න වෙලා දීලා.
“මහත්තයා මේ මයියොක්කා. නිලමේ කිව්වා පුලුවන් නම් ටිකක් තම්බාගෙන එන්ට කියලා. කොච්චි සම්බලුත් තියෙනවා”
“උඹට පින්සිද්ද වෙනවා ටික්කෝ. කොච්චි සම්බල් කාපු කාලයක් මතකත් නෑ”
හරියටම ටික්කගෙ දෙවනි රා කට්ට ඉවරවෙනකොටම මාමා හෙමින් හෙමින් පාර දිගේ ආවා.
“ටිකිරිබංඩා මයියොක්කා තිබුනද”
“ඔවු නිලමේ. මල්ලේ”
“හෙට උදේ එහෙනං අට හමාරට හොඳද”
“ඔවු. මං ගිහින් එන්නං එහෙනං. මල්ල හෙට ගන්ට බැරියෑ”
අපි සද්ද නැතුව මයියොක්කා හප හප, රා තොලගගා හිටියා දෙයියෝ එනකං. විනාඩි පහකට විතර පස්සේ මට දැනෙනවා මාමගෙ උරිස් හෙල්ලෙනවා හරියට වෙවුලනවා වගේ. බලනකොට උන්දැට හිනහ යනවා. ටිකකින් නවත්තන්ට බැරුව හිනැහෙන්ට පටන් ගත්තා.
“පුතාට හිතෙන්නෙ නැද්ද…හ..හා.හා..මේක විහිලුවක් කියලා…හා…හා… අපි රා බිබී දෙයියෝ එනකන්…හා..ඉන්නවා…හා…හා…හා..”
මටත් හිනහ ගියා. “…අපිටද පිස්සු ලෝකේ අනික් සේරටමද….?
ටිකකින් අපි දෙන්නම හොඳටම හිනහ වෙනවා. කවුරුවත් බලාගෙන හිටියානම් හිතයි අපිට පිස්සු හැදිලා එහෙම නැත්තන් යකා ගහලා කියලා.
“සමහරවිට දෙයියෝ ගහලා වෙන්ටත් පුලුවන්…නේද?”
අපෙ හිනාව එහෙමම නැවතුනා.
“අප්පේ… මං නිසා ඔයාලගෙ හිනහව නවත්තන්ට එපා. විහිලුව කැමතිනම් මටත් කියන්න”
මාමා කතා කලේ සම්පූර්න ගුරුවර කටහඬින්.
“ඔබ තුමා අපිත් එක්ක සෙල්ලම් කරනවා ඔබ තුමාගේ විනෝදෙට; ඒක මට වැටහෙනවා. නමුත් කුඩා දරුවෙකුට එහෙම බරක් දෙන එක වැරදියි නේද?”
මාමගෙ එකක් තියෙන්නේ කියන්න තියෙන දෙයක් කෙලින්ම කියනවා. උත්තරයක් නොදී ඉන්න අමාරුයි, දෙවියෙකුට උනත්.
“ආ…ඔය කියන්නේ සඳමාලී ගැනද?”
“ඇයි වෙන දරුවන්ටත් මෙහෙම හිරිහැර කරලා තියෙනවද?”
රැහැයියෝ කෑගහනවා මිසක් වෙන සද්දයක් නෑ. මම බලනකොට මගෙ අතේ තිබුන සිගරැට් එක පිච්චිලා ඉවරයි - ඒත් ඒක විසි කරන්නව හෙල්ලෙන්න හිතුනෙ නෑ.
“මම කාටවත් හිරිහැර කරලා නෑ. කාට කාටත් උදව් කරන්ට තමා බලන්නේ. ඔය ඉස්සරවෙලා පොඩි කෙනෙකුට උදව් කරන්ට ගියේ”
“කොහොමද ඕක උනේ?” දැන් මාමා තමා ගුරුතුමා - අපි ගෝලයෝ.
“දවසක් ඒ දරුවා අයියත් එක්ක කඩේ යනගමං මේ ගහ යටට ආවා, අට්ටික්කා ගෙඩි තියෙනවද බලන්ට. එතකොට තමා කිව්වේ පංතියේ අනික් ළමයි විහිලු කරනවා. පංතියේ ගුරුවරිත් එක එකදේ කියනවලු විජේසිංහ මහත්තයත් එක්ක තරහට. මේවා අයියට කිව්වේ”
“මේ වගේ දේවල් නිතර ඉස්කෝලේ වෙනවා. දෙමව්පියෝ, ගුරුවරු මේවා හදා ගන්ටත් දන්නවා - දෙවිවරු නැතුව”
“මට පව් හිතුනා. පංතියේ ගුරුවරී ඒ දරුවට සලකන්නේ අර කරාඹු මුදලාලී මේ මහත්තයට සැලකුවා වගේ”
ඒක මට කනට ගැහුවා වගේ වැදුනා.
“මම ඒ බලේ බාරගත්තේ එකම දෙයක් කරගන්න. ඊට පස්සේ මම මගෙ බලේ ආපහු දුන්නා. පොඩි දරුවෙකුට මේවගේ කොන්තරක්කුවක් එහෙමට තේරෙන්නෙ නෑ. ඒ දරුවට මේකෙන් ගැලවෙන විදිහක් තේරෙන විදිහකට කියලා දුන්නද?”
“මං දන්නේ ඒ ගුරුතුමීගෙන් දැන් කිසිම කරදරයක් නෑ. ගුරුතුමී යමක් කියන්න ඉස්සර එයාගෙ යටි හිතේ තියෙන එකට දරුවගෙන් උත්තර ලැබුනම කෙලිම්ම එතුමීගෙ හුලං බහිනවා. විහිලු කරපු අනික් ලමයිත් එහෙමයි”
ආයෙත් මාමා කතා කරා.
“එක ප්‍රශ්නයක් විසඳෙනකොට තව දහයක් මතුවෙනවා. ඒකයි දැන් වෙලා තියෙන්නේ. ඒ දරුවට විතරක් නෙවෙයි මුලු පවුලටම කරදර ගොඩ ගැහෙන්ට එන්නේ. විශේෂයෙන්ම මාධ්‍ය වලට කතා කලොත්. මේක නවත්තන්ට හොඳ කාලේ, තව කරදර එකතු වෙන්ට ඉස්සර”
“මහත්තුරුන්ට වඩා වෙනස් දෙයක් මම ඒ දරුවට කිව්වෙ නෑ. දැන් උනත් මල් පැලක් පූජා කරොත් ප්‍රශ්නේ ඉවරයි - මේක ප්‍රශ්නයක් නම්”
මාමට මේක අදහා ගන්න බැරි තරම්.
“ඔබතුමා තප්පරේකට හිතලා බැලුවද ඒ පොඩි එකී මල්පැලක් ගැන දන්නවද නැද්ද කියලා. ඒකී කොහෙන්ද පොල් ගොබයි පොල්තෙල් පහනුයි හොයන්නේ? මේ පුතාවත් දැනගෙන හිටියෙ නෑ මල් පැලක් හදන්ට - මගෙන් අහලා දැනගත්තේ. පොඩි එකී කාගෙන්ද අහන්නේ?”
මාමාට තරහ ගිහින් නිසාදෝ දෙයියෝ බිම බලාගෙන හිටියා. එතකොට මට තව දෙයක් මතක් උනා - යකඩේ තලන්න ඕනෑ රස්නේ තියෙනකොට.
“දරුවා මල්පැලක් තිබ්බොත් වැඩේ එතැනින් කම්මුතුද?”
“ආයෙ අහනවා…මං කිව්වොත් කිව්වා”
“දැනටම මල්පැලක් තියලා නම්?”
“මං දකින්ට නැතුව? එතන් මල් පැලක් නෑ”
“තිබුනොත්?”
“එහෙනං බලේ එතනිම්ම ඉවරයි. හැබැයි මට පෙන්නන්ට ඕනෑ මල් පැල”
මම ටෝච් එකත් අරන් නැගිට්ටා.
“එන්න පෙන්නන්න”
අපි තුන්දෙනාම අට්ටික්ක ගහ මුලට ආවා.
“ඔබතුමා දන්නවද කූඬලු කියන මල් ජාතිය”
“ඔවු - එව්වා හදාගන්න අමාරුයි වතුර නැතුව…නේද?”
“ඔය බිම පේන්නේ මොනවද බලන්න?”
“මේ කූඬලුද?”
“ඔවු. ඔය තියෙන්නේ මැරීගෙන යන කූඬලු පැල. මැරුනත් නැතත් ඒ මල් පැල - ඒකනේ ඔබතුමාට ඕනෑ උනේ”
“වෙල් ඩන් පුතා…මීට වැඩිය මල් පැල ආයෙ කොහෙද? පව්. පොඩි එකී කොච්චර මහන්සි වෙන්ට ඇතිද මේක කරන්ට”
දෙයියෝ අපෙ මූනු දිහා බලාගෙන හිටියා ටිකක් වෙලා. ඊට පස්සේ හිනා උනා.
“මේ මහත්තුරුන්ගෙන් බේරෙන්ට බෑනේ. ඔන්න දැන් දරුවා නිදහස්. ඇත්තටම මම දුකෙන් හිටියේ කෙල්ල ගලවාගන්ට විදිහක් හිත හිතා. මහත්තයෝ මම ආයෙ නං පොඩි එවුන් එක්ක විහිලු කරන්ට යන්නෙ නෑ”
මාමත් හිනා උනා.
“ලොකු එවුන් එක්ක විහිලු කරලා යමක් ඉගෙනගත්ත එක ලොකු දෙයක්”
දෙයියෝ මං දිහා බැලුවා.
“ටිකක් නැවතිලා යන්ට පුලුවන්ද? කාලෙකින් කාටවත් කතා කරේ නෑ”
………………
පහුවදා උදේම මම මාමත් එක්ක ගියා විජේලගෙ ගෙදර. වේලාසනින්ම ගියේ විජේ ඉස්කෝලේ යන්න ඉස්සර අල්ලා ගන්න. අපි එනකොට විජේ තවම සරම ඇඳගෙන මිඳුලේ, එයාගෙ පුතා ඉස්කෝලේ පිටත් කරනවා. මං දැකපු ගමන් ඉස්සරහට ආවා මූන පුරා හිනා වෙලා.
“අප්පේ දැකපු කල්! කවද්ද ආවේ? පද්මා…පද්මා…මේ බලන්ට කවුද ඇවිත් ඉන්නේ කියලා… කමලක්ක එහෙමත් ආවද? ලොකු ඉස්කෝලෙ මහත්තයනම් ලඟදිත් හම්බ උනා. එන්ට එන්ට ඇතුලට” හරියට වක්කඩේ කැඩුනා වගේ නොනවත්තා කතා කරනවා. මාමා දන්නවා ඒකට බෙහෙත.
“අද ඉස්කෝලේ ගියෙ නෑ?”
“නෑ… මේ කෙල්ලට ටිකක් උන වගේ ඊයෙ රෑ ඉඳන්. තවම ඇදේ. තව ටිකක් බලලා වෙද මහත්තයා ලඟටවත් ගෙනියන්ට ඕනෑ”
මමත් ගේ ඇතුලට ඔලුව දාලා පද්මට කතා කරා.
“කෝ මේ අමුත්තෝ ආවම තේ එකක්වත් දෙන්නෙ නැද්ද පද්මා?”
“අයියා කවද්ද ආවේ? කමලක්කත් ආවද?...විජේගෙ වචනම පද්මගෙ කටින් ආවා.
අපි තේ බිබී ඉන්නකොට පොඩි කෙල්ලෙක් ඇස්දෙක පිහ පිහ සාලුවකුත් බිම දිගේ ඇදගෙන එතෙන්ට ආවා. අපි දිහා බලලා කෙලින්ම පද්මා ලඟට ගියා.
“දුව මේ මාමා කෙනෙක්. දුවගෙ ලෙඩ බලන්ට ඇවිත්. දැන් කොහොමද උන?”
කෙල්ල අම්මා පිටිපස්සේ හැංගුනා. පද්මා දුවගෙ නලලේ අත තියලා බලලා විජේට කිව්වා දැන් උනක් නම් නෑ වගේ කියලා.
මාමා ආයෙත් ගුරුවරයා උනා. එක අතක් මිටි කරලා ඇඟ පිටිපස්සට අරගෙන දුවට කතා කෙරුවා ගුරුවර කටහඬින්.
“සඳමාලී කියන්ට මගෙ අතේ තියෙන්නේ මොකද්ද කියලා”
මේක මීටත් ඉස්සර කරලා තියෙන දෙයක් වෙන්ට ඇති. පොඩි එකී ටිකක් වෙලා මාමගෙ මූන දිහා බලාගෙන ඉඳලා ඔලුව හෙල්ලුවා.
“හරියටම හරි. කිසි දෙයක් නෑ. හැබැයි මේ සාක්කුවේනම් සීනි බෝලයක් තියෙනවා”. එහෙම කියලා මාමා සඳමාලිට සීනිබෝලයක් දුන්නා. මාමා මේකට ලෑස්තියෙන් ඇවිත් තියෙන්නේ.
“අපිත් යං නේද පුතා? දැන් මිනිංදෝරුවත් ඇවිල්ලා ඇති”
“අනේ අයියලා අක්කත් එක්ක එන්ටකෝ වෙලාවක මොකවත් කාලා එහෙම යන්ට” ඒ පද්මා.
“ටිකක් වෙලා ගියාට කමක් නෑ අපි ඉස්කෝලේ යමු නේද දුව?” ඒ විජේ.
“එහෙනං දෙයියංගෙ පිහිටෙන්….” ඒ මාමා සමුගත්ත හැටි. මගෙන් එලියට ආවේ පොඩි හිනාවක් විතරයි.